ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

නිවන් දැකීමට නම්

දන්කන්දේ ධම්මරතන හිමි

ප්‍රත්‍යවේක්ෂා කිරීම යනුවෙන් අදහස් කරන්නේ නුවණින්, විදර්ශන ඇසකින් නැවත නැවත විමසා බලමින් තමා විසින්ම එම කරුණු අවබෝධ කර ගැනීමට, විදර්ශනාව ගැන අවබෝධයක් නැති කෙනකුට මෙය කළ නොහැකි නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එවැනි අවබෝධයක් ඇතිකර ගැනීම නිවන අත්දැකීම සඳහා ද ඉතාමත් ම අවශ්‍යවනවා.
සෑම බෞද්ධයකු ම වාගේ ඕනෑම කුශලයක් කළාට පසුව ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් මිදී නිවන් දැකීමට වුවත්, කරනු ලබන සෑම කුශලයක් නිසාම නිර්වාන ධාතුව අවබෝධ කරන්නට ලැබෙන්නේ නැති බව සමහර අය නො දන්නා කරුණක් වන්නට පුළුවන්. බෝධි පූජා, බුද්ධ පූජා, දන්දීම් වැනි සසර දිග්ගැස්සීමට හේතු වන වට්ටගාමී කුශලයක් කළාට පසුව ඒවා ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නම් එවැනි කුශලයක් වුවත් නිවන් ලැබීමට හේතුවන විවට්ටගාමී කුශලයක් බවට පත්කර ගැනීමට නුවණ ඇති කෙනකුට හැකි බව අවබෝධ කර ගැනීම සුදුසුයි.
ප්‍රත්‍යවේක්ෂා කිරීම යනුවෙන් අදහස් කරන්නේ නුවණින්, විදර්ශන ඇසකින් නැවත නැවත විමසා බලමින් තමා විසින්ම එම කරුණු අවබෝධ කර ගැනීමට, විදර්ශනාව ගැන අවබෝධයක් නැති කෙනකුට මෙය කළ නොහැකි නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එවැනි අවබෝධයක් ඇතිකර ගැනීම නිවන අත්දැකීම සඳහා ද ඉතාමත් ම අවශ්‍යවනවා.

සම්මාසම්බුද්ධත්වය, පසේබුද්ධත්වය, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක භාවයන්, රහත්භාවය ආදි කවර ප්‍රාර්ථනයක් තිබුණත්, ඒ සෑම කෙනකු විසින් ම නිවන අවබෝධ කිරීමට අවශ්‍ය ගුණධර්ම අනිවාර්යෙන් ම දියුණු කර ගත යුතු යි.
නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම කියන්නේ කෙටියෙන් කියනවා නම් ශීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට, මෙය ඊට වඩා විස්තර වශයෙන් දක්වනවා නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට, ඊටත් වඩා විස්තර වශයෙන් කීවොත් සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන්ට, මේ අතුරෙන් දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්යසත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සෑම විටම වාගේ දක්වා වදාළේ.

ත්‍රිශික්ෂාව - ශීල, සමාධි, ප්‍රඥා

ශීල – ගිහි අයට නම් නිත්‍ය පංචශීලය හෝ නිත්‍ය ආජීව අෂ්ඨමක ශීලය ආරක්ෂා කිරීම ප්‍රමාණවත් වුවත්, ඉන්ද්‍රිය සංවර ශීලය ආරක්ෂා කිරීම ද ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, කයට දැනෙන ස්පර්ශ හා මනසට දැනෙන දේවල් හමුවුණාට පසුව ආශාවක්, තරහක්, ඊර්ෂ්‍යාවක් ආදී කෙලෙස් ඇතිවන්නට නොදී සිත මැදහත්ව තබාගැනීමට පුරුදු වීමට.
මේ සඳහා එදිනෙදා ජීවිතයේ දී තරහක් ඇතිවන විට ‘තරහක් තරහක් තරහක්.....’ කියා සිහිපත් කොට ඒ තරහ සිතිවිලි මැඩ ගැනීමත්, තමන්ගේම පවුලේ භාර්යාවන් වැනි අය හැර වෙනත් අය ගැන අයුතු රාගයක් ඇතිවන විට රාගයක් රාගයක් රාගයක් කියා සිතා ඒ ඔස්සේ සිතිවිලි ගලා යාමට ඉඩ නොදී සිත කෙලෙස් වලින් තොරව හැකි තරම් ඉන්නට පුරුදු වීමත් කළයුතු වනවා. මෙසේම ඊර්ෂ්‍යා දැඩිලෝහ ආදී සෙසු කෙලෙස් ඇතිවන විට ද එසේ කරන්නට ඕනෑ. මෙය පුරුදු කිරීම මුලදී තරමක් අපහසු වුවත්, පුරුදු වූ පසු සිත සැනසිලි දායක ලෙස තබා ගැනීමට හැකිවේවි.
සමාධි - සමාධි කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ඇති කර ගනු ලබන රූපාවචර 1 – 2 – 3 – 4 ධ්‍යාන සිත් වලට, නිර්වාණය අත්දැකීම සඳහා අඩුම වශයෙන් පළමුවන ධ්‍යාන සිතවත් තිබීම අත්‍යවශ්‍ය වුවත්, සමථ භාවනා කොට ධ්‍යානයක් උපදවා දෙන විදර්ශනා භාවනා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මුල සිටම විදර්ශනා භාවනා කරන කෙනකුට වුවත් ධ්‍යානය සිත් උපදවා ගන්නට පුළුවන්. ඒවා හඳුන්වන්නේ විමංසා සමාධි නැත්නම් ඛනික සමාධි කියලා.
ප්‍රඥා - මෙයින් අදහස් කරනු ලබන්නේ නිවන ලැබීමට අවශ්‍ය වන කරුණු ගැන තමන් විසින් ම ඇති කර ගත යුතු විදර්ශනාමය ප්‍රඥාව. ලෞකික වශයෙන් ඇතිකරගනු ලබන ප්‍රඥාවක් නිර්වාණාවබෝධය සඳහා හේතු වන්නේ නැහැ.
ආර්ය අෂ්ටාංගි මාර්ගය -
සම්මා දිට්ඨි – යහපත් දැකීම 
සම්මා සංකප්ප – යහපත් සිතිවිලි
සම්මා වාචා - යහපත් වචන 
සම්මා කම්මන්ත - යහපත් කායික ක්‍රියා (කයින් කරන වැරැදි නොකිරීම) 
සම්මා ආජීව - යහපත් දිවිපැවැත්ම 
සම්මා වායාම – යහපත් උත්සාහය 
සම්මා සති – යහපත් සිහිය 
සම්මා සමාධි – යහපත් සමාධිය

මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දැක්වෙන්නේ ද ඉහත කී ත්‍රිශිෂ්කාවම හැර වෙන එකක් නොවෙයි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස් හතරම වැටෙන්නේ ශීලයට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කොටස් 3 සමාධියටයි අන්තර්ගත වන්නේ. සම්මා දිට්ඨිය වැටෙන්නේ ප්‍රඥාවට.
සම්මා දිට්ඨි – බුදුරජාණන් වහන්සේ විසින් සම්මා දිට්ඨිය වශයෙන් වදාරා ඇත්තේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධය සත්‍යය, හා මාර්ග සත්‍යය පිළිබඳව ඇති කර ගත යුතු අවබෝධයට. වෙනත් වචනවලින් කියනවා නම්, නිවන් දැකීමට අවශ්‍ය කරුණු ගැන තමා විසින් ම ඇතිකර ගත යුතු ප්‍රත්‍යක්ෂමය අවබෝධයන්ට. මේ පිළිබඳව ඉදිරියේ දී විස්තර කරන්නම්.
සම්මා සංකප්ප - නෛෂ්කර්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා සහ අවිහිංසා සංකල්පනා කියන සිතිවිලි නිවන් දැකීමට බලාපොරොත්තු වන අය විසින් ඇති කර ගත යුතු වනවා.
ගිහි අයට කාම සංකල්පනා වලින් තොරව සිටීමට නොහැකිවුණත්, නිරන්තරයෙන්ම එවැනි සිතිවිලි වලින්ම වෙලී සිටින්නේ නැතිව, සසර පුරා විඳි අනන්ත අප්‍රමාණ දුක් ගැන අවබෝධයක් ඇතිකර ගෙන ‘මේ සසරේ රැඳී සිටීම මහා භයානකයි, අඩු වශයෙන් සෝවාන්වත් නො වුණොත් අනාගතයේ කොච්චර නම් සසර දුකක් විඳින්නට සිදුවනවද, මමත් කොහොම හරි සසරින් මිදී නිවන් දැකීමට උත්සාහ ගත යුතුමයි, මැරුණට පස්සේ සතර අපායට වැටුණොත් කවදානම් ගැළවෙන්නට ලැබෙයිද ආදී නිවන් දැකීමට අවශ්‍ය වන නෛෂ්කර්ම සිතිවිලි ඇති කර ගත යුතුයි. මෙවන් සිතිවිලි ඇති වුණේ නැත්නම් කවුරුවත්ම නිවන් දැකීමට අවශ්‍ය ගුණ ධර්ම දියුණුකර ගැනීමට උත්සාහ ගන්නේ නැහ.
ව්‍යාපාද සිතිවිලි වලින් පිරී ගිය සිතකින් නිවන් දැකීමට බැහැ. එම නිසා අව්‍යාපාද හෙවත් මෛත්‍රී සහගත සිතුවිලි ඇතිකරගත යුතු යි. මෛත්‍රිය ගැන විස්තරයක් භාවනා කෙටියෙන් හඳුන්වා දෙන විට කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.
අවිහිංසා හෙවත් කරුණා සහගත සිතිවිලි නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනකුගේ සිත තුළ තිබිය යුත්තක්. තමන්ට කවුරු හරි ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පළිගැනීම්, නින්දා අපහාස අපකීර්ති පැතිරවීම ආදී දේවල් කරනවාට තමන් කැමැති නැතිවා වගේම ලෝකයේ කවුරුවත්ම එවැනි දේ වවවලට ලක්වීමට කැමැති නැහැ. ඒක නිසා සතුරකුටවත් කායික වශයෙන් හරි, මානසික වශයෙන් හරි කිසිම කරදරයක් හිරිහැරයක් නොකර සිටින්නට උත්සාහ ගත යුතුයි. මේ සියලුම සත්ත්වයෝ දුකෙහි පිහිටලා සිටින්නේ, සියලුම සත්ත්වයෝ දුකින් මිදෙත්වා කියා කරුණා සහගත සිතිවිලි ඇතිකර ගැනීම ඉතා සුදුසුයි.
සම්මා වාචා - යහපත් වචන කියන්නේ බොරු, කේලාම්, ඵරුෂ වචන සහ සම්පප්‍රලාප කීමෙන් වළකින එකට. මේ අතුරෙන් බොරු කීම හා සම්පප්‍රලාප කියන එකයි බොහෝ දෙනකු විසින් වැඩිපුර සිදු කරන්නේ. බොහෝ දෙනකු කියන කතාවක් තමයි, බොරු කියන්නේ නැතිව අද සමාජයේ ඉන්නට බැහැ කියන එක. ලෝකයක් හදන්නට අපට බැරි නිසා තමන් ගේ සිත පාපයෙන් මුදා ගැනීමයි කළ යුතු වන්නේ. එම නිසා තමන් ඇසුරු කරන අය තරහ කර ගන්නෙත් නැතිව, හැකි තරම් දුරටවත් බොරු කීමෙන් වැළකී සිටීමට උත්සාහ කිරීම තමාගේම යහපත සඳහා හේතු වන බව තේරුම්ගෙන බොරු කියන්නේ නැතිව ඉන්නට මහන්සි ගන්නට ඕනෑ කවදා හෝ නිවන් දැකීමට බලාපොරොත්තු වනවා නම්.
අද ඔබට සැමවිටම වාගේ අසන්නට, කියවන්නට, බලන්නට තිබෙන්නේ තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, මෙලොව යහපත සඳහාත් හේතු නොවන, පරලොව යහපත සඳහාත් හේතු නොවන, නිවන සඳහා කිසිසේත්ම හේතු නොවන, සසර දිග්ගැස්සීමට හේතුවන, පව් රැස්කර දෙන හිස් වචන, සම්පප්‍රලාප, එවැනි වචන අසන්නට සිදුවන අවස්ථාවලදී, ඇසුරු කරන අය අමනාප කර ගන්නේ නැතිව, ඒ අය කියන වචන වලට ‘හ්ම්, හරි හරි, ආ එහෙමද, ඇත්තද.....’ ආදී වශයෙන් ඉතා කෙටියෙන් ඒ අයට පිළිවදන් දෙමින් සම්පප්‍රලාප කීමෙන් හැකි තරම් දුරට වැළකී සිටින්නට පුළුවන්.
සම්මා කම්මන්ත - බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ හොඳ කර්මාන්තයක යෙදීම සම්මා කම්මන්ත කියලා. ඒක වැරැදියි. බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ කයින් කරන වැරැදි ඒ කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම කියන පාපයන් ගෙන් වැළකී සිටීම සම්මා කම්මන්ත කියලා. රහමෙර පානය කිරීමෙන් වැළකීමත් මෙයටම ඇතුළත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අදාළ පාලි පාඨ මේ ලිපි වල දක්වන්නේ නැත්තේ බොහෝ දෙනෙක් ඒවා නො කියවන නිසා.
සම්මා ආජීව - මෙයින් අදහස් කරන්නේ ධාර්මික වූ ජීවනෝපායකින් දිවිපැවැත්ම පවත්වාගෙන යාමයි. අධාර්මික ලෙස අවුරුදු 100 ක් ජීවත් වනවාට වඩා, එක දවසක් ධාර්මික වශයෙන් ජීවත්වීම ශ්‍රේෂ්ඨ බවයි බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ.
සම්මා වායාම - සම්මා වායාමයට කුශල් පැත්තෙන් කොටස් දෙකකුත්, අකුශල් පැත්තෙන් කරුණු දෙකකුත් දේශනා කර තිබෙනවා.

නිවන් දැකීමට නම් 02

මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසු නොකර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල පැත්තෙන් දේශනා කර ඇති කොටස් දෙක, මේ දක්වා තමා විසින් කර නැති කුසල් දියුණුූ කර ගැනීමට උත්සාහවත් වීමත්, මේ දක්වා තමා විසින් කර ඇති කුසල් තව දුරටත් වැඩියෙන් වැඩියෙන් කිරීමටත් උත්සාහ ගැනීමත් කුසල පැත්තෙන් දැක්වෙන කරුණු දෙකයි.
භාවනාවට අදාළ වන හැටියට නූපන් කුශල ධර්ම තේරුම් අරගෙන ඒවා දියුණු කිරීමට උත්සාහ ගත යුතුයි. මේ දක්වා තමාගේ සිත තුළ සිත එකඟ කර ගන්නට නො හැකි නම් එය නූපන් කුශල ධර්මයක්. තමාගේ සිතේ සමාහිත බවක් නැත්නම්, සිතේ සමාධිය වැඩි නැත්නම්, රූපාවචාර පළමුවෙනි ධ්‍යානයවත් මේ දක්වා ඇතිවී නැත්නම් ඒවා නූපන් කුශල ධර්ම, ධ්‍යාන සිතක් උපදවාගෙන ඇති කෙනකුට එයින් එහාට ඇති ධ්‍යාන සිත් නූපන් කුශල ධර්ම, අඩු වශයෙන් සිතේ එකඟ බවත් ඇති කර ගැනීමට භාවනාව මුල සිට පුරුදු කරන අය උත්සාහ ගත යුතු වනවා.
විදර්ශනා පැත්තෙන් බලන විට මේ දක්වා තමාගේ සිත තුළ ඇති නොවූ ධර්ම රාශියක්ම තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍ය ගැන නිවන් දැකීමට සුදුසු මට්ටමේ අවබෝධයක් බොහෝ දෙනෙකුට නැහැ. බොහෝ දෙනෙක් සසරේ ගමන් කිරීමට අවශ්‍ය දේවල්ම නිරතවනවා විනා සසරින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පූරණය කිරීමට කටයුතු නොකරන්නේ දුක්ඛ සත්‍යය ගැන නිසි අවබෝධයක් නැති නිසා . “මහණෙනි, ඔබලා සසරේ විඳින ලද දුක දන්නවා නම් ඔබලාගේ ඇඳගෙන සිටින රෙදි ගිනි ගත්තත් ඒ ගිනි නිවන්නට නොවෙයි ඔබලා උත්සාහ ගන්නේ. අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමටයි”. කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දක්වා සසර පුරා කොච්චර නම් දුකක් විඳලා තිබෙනවද, සතර අපායන්ට වැටි කොච්චර නම් දරුණු දුක් වින්දද, සෝවාන්වත් නො වුණොත් කොච්චර නම් කාලයක් සසරේ ඉදිරියේ දීත් දුක් විඳින්නට සිදුවෙයිද කියලා තරමක හෝ හැඟීමක් ඇතිකර ගන්නට උත්සාහවත් වන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මනුෂ්‍යයකුට මැරුණාට පස්සේ සුගතියක උපදින්නට ලැබෙන්නේ නියපොත්තක් උඩට ගත් පස් ටිකක් වගේ සුළු දෙනකුට පමණයි. පොළවේ පස් තරම් වාගේ බොහෝ දෙනෙක් උපදින්නේ දුගතිවල කියලා. කොච්චර නම් අවදානම් තත්ත්වයකද ඔබ සිටින්නේ කියලා තේරුම් ගන්න.
දුක්ඛ සමුදය සත්‍යය (නැවත නැවත ඉපදෙමින් සසර දුක් විඳින හේතුව) එදිනෙදා ජීවිතයේදි ක්‍රියාත්මක වන හැටිත්, සසර දුක නැතිවී නිවන් ලැබෙන මාර්ගය වූ දුක්ඛ නිරෝධගාමිණි පටිපදාර්ථ සත්‍යයත් තේරුම් ගැනීමටද උත්සාහ ගන්න.පොත්වල මේ පිළිබඳව තිබෙන කරුණු කියවා මතක තබා ගත් පමණින් මේවා අවබෝධ කර ගත්තා කියා රැවටෙන්නට එපා.
රූප –වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වරූපය තමා විසින්ම අවබෝධ කර ගත යුතු වනවා. පංචස්කන්ධය නිරන්තරයෙන්ම වෙනස් වන අනිත්‍ය දෙයක් බවත්, පංචස්කන්ධය පවතින තාක් කල් ඒ තුළින් දුකක්ම ඇතිවන බව හා පංචස්කන්ධයම දුක්ඛ සත්‍යයක් මෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වන බවත්, ඒවා තමාට ඕනෑ විධියට පවතින්නේ නැති හේතුඵල ක්‍රියාදාමයක් විනා ඒවා තමාගේ හෝ තමාගේ ආත්මයක් නොවන බවත් තමන් විසින්ම අවබෝධ කර ගත යුතුයි. වෙනත් කෙනකු කියන දෙයක් අසාගෙන සිටි පමණින් හෝ ඒ ගැන සිත සිතා සිටි පමණින් නිවන් දැකීමට ලැබෙන්නේ වහ වහා නිවන් දැකීමට හැකි වන සේ පාරමී පුරා ඇති කෙනකුට පමණක් බවත් තේරුම් අරගෙන ඒ කරුණු තමා විසින්ම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වනවා.
පංචස්කන්ධ පැවතීම කෙරෙහි කලකිරීමක් (නිබ්බිදාවක්) ඒවා කෙරෙහි නො ඇල්මක් (විරාගයක්) ඇති වී පංචස්කන්ධ ධර්ම සිතින් ගිලිහී යාම (නිරෝධය) ප්‍රත්‍යක්ෂ ලෙස භාවනාවෙන් අත්දැක ඒවා සම්පූර්ණයෙන්ම සිතින් අතහැරීයාමෙන් (පටිනිස්සග්ගයෙන්) කෙනෙකුට නිවන මේ ජීවිතයේදීම වුවත් අත්දකින්නට පුළුවන්.
පංචස්කන්ධ ධර්ම වශයෙන් එසේ බැලීමට නො හැකි කෙනකුට ඒවා නාමරූප ලෙසින් හරි, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ , විඥාන ධාතු වශයෙන් හරි ඇස, කන, නාසය, දිව, ශරීරය ,මනස කියන ආයතන (චක්ඛායතන ආදි) වශයෙන් හරි, බලන්නට පුළුවන්. තවත් බැලිය හැකි වෙනත් ආකාරත් තිබෙනවා.
සම්මා සති – බොහෝ විට බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සතිය විස්තර කර ඇත්තේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන සතර සතිපට්ඨාන ධර්මයන් වශයෙනි. සම්මා සතිය දියුණු කර ගැනීම, සම්මා සමාධිය දියුණු කර ගැනීමටත් ඉතාමත්ම අවශ්‍ය වනවා. සම්මා සමාධිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු පංචස්කන්ධය ආදි ධර්මයන්ගේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගන්නට. සම්මා දිට්ඨිය තුළිනුයි නිවන් දැකිය හැක්කේ. සම්මා සමාධියෙන් ලැබිය යුතු අනුබලය සම්මා දිට්ඨියට ලැබෙන්නට ඕනෑ අනිවාර්යයෙන්ම නිවන් දැකීමට නම්.
සතර සතිපට්ඨානය ධර්මයන් දියුණු කිරීමට පෙර සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා, පහසුවෙන් සිත එකඟ කර ගැනීමට හැකිවනු පිණිස ඒ ඒ පුද්ගලයාට සුදුසු ගැළපෙන පරිකර්ම වචනයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා. සෑම දෙනාටම වාගේ ගැළපෙන පරිකර්ම වචනයක් තමයි තායිලන්තයේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල ප්‍රගුණ කරනු ලබන “බුද්ධෝ’ කියන වචනය . මෙය බුදුගුණ භාවනාවක් නො වෙයි.
එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ – බුද්ධෝ කියා සිහිකරමින් ඒ ක්‍රියාවන් සිදුකරන්නට පුළුවන්. ලෝභ,දෝෂ ආදි නොයෙකුත් දේවල් සිත සිතා ඒ කායික ක්‍රියා මෙතෙක් කල් කරමින් සිටියත්, මේ අයට පුළුවන් එලෙසින් එදිනෙදා ජීවිතයේදී කායික ක්‍රියා කරන විට “බුද්ධෝ – බුද්ධෝ– බුද්ධෝ කියා සිහි කරමින් ඒ ක්‍රියාවන් කරන්නට. ඒ වගේම එදිනෙදා ජීවිතයේදි තරහ සිතක් ඇතිවන විටම තරහක් තරහක් තරහක්, කියා සිහිකර, ඒ එක්කම බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියා වැඩි වේලාවක් සිහිපත් කළ විට ඒ ඇතිවූ පාපකාරි තරහව නැති කර ගෙන සිත කෙලෙස්වලින් මුදා ගෙන සිටින්නට පුළුවන්. මේ වගේම රාගයක්,ඊර්ෂ්‍යාවක් , දැඩිලෝභයක්, අමනාපයක්, නුරුස්නා ගතියක්, නොසතුටක් වැනි කවර ආකාර හෝ අකුශල් විතරක් ඇතිවූ විට රාගයක්,රාගයක්, රාගයක්, ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් දැඩි ලෝභයක්, දැඩි ලෝභයක්, දැඩි ලෝභයක් කියා සිහි කර , බුද්ධෝ කියන වචනය හැකි තරම් වේලාවක් සිහි කළහොත්, මේ අයට හැකියාව ලැබෙනවා කෙලෙස් වලින් සිත මුදාගෙන පිරිසුදු සිතක් ඇතිව සැනසිලිදායක ලෙසින් ජීවිතය පවත්වා ගෙන යන්නට, මෙහිදී සිදුවන්නේ අකුශල විතර්ක කුශල විතර්ක තුළින් මැඬ ගැනීමක්.
දවසේ වැඩි කාලයක් මෙලෙසින් කටයුතු කරන විට, සතිය දියුණුූ කර ගන්නටත්, එම නිසාම සිත එකඟ කරගෙන සිතේ සමාහිත භාවයක් ඇතිකර ගැනීමටත් බොහෝ දෙනෙකුට හැකිකම තිබෙනවා. සමහර අයට පමණක් සිතේ සමාධිය ඇති කර ගන්නට පුළුවන්. තීක්ෂණ ප්‍රඥාවත් ඇති කෙනකුට බුද්ධෝ කියන වචනයේ අර්ථය හදවත තුළින් මතුවී මතුවී එමින්, බුදුරජාණන් වහන්සේ කුමන කුමන ධර්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන කොයි කොයි ආකාර වලින් ඒ ධර්ම ලෝක සත්ත්වයාට අවබෝධ කර දුන්නා ද ආදි කරුණු තමාගේ හදවත තුළින්ම ගැඹුරින් අවබෝධ වෙමින් විදර්ශනා භාවනාව පැත්තට නිරායාශයෙන්ම ම හැරෙන අයුරු අත්දකින්නට පුළුවන්. නිවන අත්දැකීමටත් එය හේතුවෙනවා.
සම්මා සමාධිය – සම්මා සමාධිය කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් උපදවා ගත් රූපාවචාර පළමුවෙනි, දෙවැනි, තුන්වැනි සහ හතරවන ධ්‍යානවලට අරූපාවචර ධ්‍යාන හතරත් සම්මා සමාධියටමයි ඇතුළත් වන්නේ, ධ්‍යාන සිතක් උපදවාගන්නට භාවනා කළ යුතුමයි. අද කාලෙත් ධ්‍යාන ලාභීන් සිටින බව අවබෝධ කරගෙන සම්මා සමාධිය ඇති කර ගැනීමට උත්සාහවත් විය යුතුයි.
ඒ සඳහා තමන්ට පහසුවෙන් කළ හැකි, ඒ වගේම පහසුවෙන් සිත එකඟ කර ගත හැකි භාවනා අරමුණක් තෝරාගෙන කිරීමයි වඩා සුදුසු. පළපුරුදු කර්මස්ථානාචාර්යවරයෙකුට මෙය තරමක් හෝ නිවැරැදි අයුරින් තීරණය කළ හැකි විය හැකි වුණත්, එවැනි කෙනෙකු සොයා ගැනීමට තමන්ට නො හැකි නම්, භාවානා කිරිමට ප්‍රථමයෙන් බොහෝ දෙනකු විසින් කරනු ලබන බුදුගුණ ,මෛත්‍රි,අසුභ, මරණ කියන චතුරාරක්ඛ භාවනා එකිනෙක කර, ඒ අතුරෙන් වඩා පහසුවෙන් තමන්ට කළ හැකි භාවනා ක්‍රමය වැඩි වේලාවක් ප්‍රගුණ කරන්නට පුළුවන්.
භාවනා කරන විට, හරි අත්දැකීමක් නොලබාම සම්මා සමාධිය යැයි මිච්ඡා සමාධියකට මුළා විය හැකි අවස්ථා ඇති බැවින් එවැනි අවස්ථාවලදි සුදුසු කෙනකුගෙන් උපදෙස් ලබාගැනීම කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රතිවිරුද්ධ කරුණු අටට ප්‍රකාශ කර ඇත්තේ අට්ඨ මිච්ඡත්ත කියලයි. ඒ කියන්නෙ සම්මා දිට්ඨිය නොවෙයි, මිච්ඡා දිට්ඨිය, සම්මා සංකප්ප නොවෙයි, මිච්ඡා සංකප්ප, මේ ආදි වශයෙන් දැක්වෙන නිවැරැදි මාර්ගයට ප්‍රතිවිරුද්ධ අංග අටට.

නිවන් දැකීමට නම් 03

නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනෙකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා.
මේ දක්වා කීවේ ත්‍රිශික්ෂාව සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව ඉතා කෙටි හඳුන්වාදීමක්.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දැන් අපි ඉතා කෙටියෙන් හඳුනා ගන්නට බලමු. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවන් ලබා දීමට හේතුවන කරුණු 37 කට, එම 37 තුළ
4 බැගින් වු කොටස් 3 ක් තිබෙනවා. සතර සතිපට්ඨාන සතර සම්මප්පධාන, සතර ඍද්ධිපාද කියලා (12)
5 බැගින් වූ කොටස් 2 ක් තිබෙනවා – පංචඉන්ද්‍රිය සහ පංචබල කියලා (10)
කරුණු 7 ක් අන්තර්ගත කොටසක් තිබෙනවා. සත්ත බොජ්ඣංග (7)
තව කරුණු 8 ක් තිබෙනවා. ඒ තමයි කලින් කියූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය (8)
සතර සතිපට්ඨාන:– නිවන් යාමට අවශ්‍ය පාරමී පුරා ඇති කෙනකුට නැවත නැවත ප්‍රගුණ කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නො වරදවාම නිවන් දකින්නට හැකි භාවනා ක්‍රමයක් තමයි සතර සතිපට්ඨාන භාවනාව කියන්නේ. කායානුපස්සනා ,වේදනානුපස්සනා, චිත්තානුපස්සනා,ධම්මානුපස්සනා කියා ඒවා හඳුන්වනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් දක්වන්නේ සම්මා සතියයි.
සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව කියා කොටස් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරමින් ඒ දෙක උන්වහන්සේ විස්තර කර ඇත්තේ මේ විධියටය “සතිපට්ඨාන ධර්ම කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, කියන කොටස් හතරට.
සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ ඒ සතිපට්ඨාන ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම – නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) කාය වේදනා චිත්ත ධර්ම කියන ධර්මයන් ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත් කියන කරුණූ ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කිරීමට මෙය සතිපට්ඨාන භාවනා සෑම කොටසක් අවසානයේදීම බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙනවා. එම නිසා කායානුපස්සනාවේ දැක්වෙන සෑම කොටසක් අවසානයේදීත්, වේදනානුපස්සනාව අවසානයේදීත්, චිත්තානුපස්සනාව අවසානයේදීත් ධම්මානුපස්සනාවේ එකිනෙක සෑම කොටසක් අවසානයේදීත් එය කළ යුතුයි.
කායානුපස්සනාවට භාවනා ක්‍රම 14 ක් ඇතුළත් (1) ආනාපාන සති භාවනාව (2) සක්මන් භාවනාව වැනි ඉරියව් පවත්වාගෙන යාමේ භාවනාව (3) සිහිනුවණින් යුතුව කටයුතු කිරීමේ භාවනාව (4) අසුභ භාවනාව (5) පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු කොටස් 4 අරමුණූ කර ගනිමින් කරනු ලබන ධාතුමනසිකාර භාවනාව සහ (6) –(14) මැරුණාට පසුව ශරීරයට සිදුවන අවස්ථා 9 ක් අරමුණු කරමින් කරනු ලබන නවසීවථික භාවනාව කියන්නේ ඒ 14 ට.
මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේවා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම කයේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) කයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක්, ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
වේදනානුපස්සනාවට අන්තර්ගත වන්නේ සැප, දුක්, මැදහත් (උපේක්ඛා) කියන වේදනා 3 ත් එම වේදනාවන් සාමිස සුඛ වේදනා සහ නිරාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා සහ නිරාමිස දුක්ඛ වේදනා, සාමිස උපෙක්ඛා වේදනා සහ නිරාමිස උපෙක්ඛා වේදනා කියන වේදනා කොටස් 6 ත් මෙම වේදනාවන් අරමුණු කරමින් කරනු ලබන භාවනාව තමයි වේදනානුපස්සනාව.
සාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදි අරමුණු හමුවූ පසු පංචකාම වස්තූන් ඇසුරු කර ගෙන ඇතිවන වේදනාවන්ට, නිරාමිස වේදනා වශයෙන් දැක්වෙන්නේ පංචකාම වස්තු වලින් තොරව ඇතිවන වේදනාවන්ටය, භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නො ලැබෙන විට කවදා නම් ප්‍රතිඵලයක් ලැබේදැයි සිතන විට, ධ්‍යාන සමවත් ඵල සමවත් සුව විඳින විට මේ ආදි විවිධ අවස්ථාවන්හිදී ඇතිවන වේදනාවන් නිරාමිස වේදනාවන්ට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්. මේ සෑම කොටසක්ම භාවනා කරන විට, මේ වේදනා හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්, පුද්ගලයෙක්,ආත්මයක්, මමෙක් නොවන අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම පමණක් බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතුයි.
ඒ වගේම මේ ආකාර විවිධ වේදනාවන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) වේදනාවන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහියට මතු ඤාණයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමක් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැෙඳන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.
චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග දකිමින් කරනු ලබන භාවනාවට 1.2,3 රාගයෙන් යුත් සිත් ද්වේෂයෙන් යුත් සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්, සමෝහ සිත්)
4,5,6 රාගය ප්‍රහීණ කළ සිත් ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ සිත් (වීතරාග, වීත දෝෂ, වීත මෝහ සිත්)
7. නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සංඛිත්ත සිත්)
8. භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)
9.ධ්‍යාන සිත් (මහග්ගත සිත්)
10. ධ්‍යානවලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්)
11. සෝවාන් ,සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්) පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බවයි.
12. අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)
13. ධ්‍යාන වලට පෙර ඇතිවන සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත් (සමාහිත සිත්)
14.සමාහිත බවක් නැති අසමාහිත සිත්.
15. වෙනත් සිතිවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් ( විමුත්ත සිත්)
16. විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්
නිවන් දැකීමට නම්, මේ සිතිවිලි හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක් , පුද්ගලයෙක්, ආත්මයක් , මමෙක් නොවන,අනිත්‍යයට යාමෙනේ නිරුද්ධ වී නැති වී යන , දුකක් වන ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම,මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ (1) ඉපැදීමේ හේතු දැකීමත්, නැතිවීම දැකීමත්, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙකම දැකීමත් (2) චිත්ත ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීම් (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත් (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳන්නේ නැතිව සිටීමත් (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නොකර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස දැක අවබෝධ කර ගන්නට ඕනෑ.
සදහම් සඟරා - Online